පුස්තකාලය
රටක තොරතුරු පද්ධතියේ කේන්ද්‍රස්ථානය ලෙස එරට ජාතික පුස්තකාලය හැඳින්විය හැකිය. එසේම එරට බිහි වන තොරතුරු සම්පත් හා ග්රන්ථ මූලාශ්‍ර එම රටට ආවේණික වූ සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික වශයෙන් අනන්‍ය වූ ලක්ෂණ පෙන්නුම් කරයි. එම තොරතුරු සම්පත් ඒකරාශී කර වර්තමාන හා අනාගත පරම්පරාවන්ගේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කරනුයේ ජාතික පුස්තකාලය විසිනි.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල ජාතික පුස්තකාල පිහිටුවා ඇත. එක්සත් රාජධානිය ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කොරියාව ඇතුළු රටවල් ඊට නිදසුන් කිහිපයකි. ඉන්දියාව, තායිලන්තය වැනි රටවල ජාතික පුස්තකාල වසර සියයකට වඩා පැරැණිය.
ජාතික පුස්තකාලයේ වගකීම හා කාර්යභාරය මහජන පුස්තකාල හෝ අනෙකුත් පුස්තකාලවලින් වෙනස් වන්නේ එම පුස්තකාල මඟින් සේවා සපයනු ලබන්නේ යම් නිශ්චිත පාඨක සමූහයක් අරමුණු කර ගන්නා බැවිනි. මහජන පුස්තකාලයක් මඟින් සේවා සපයනු ලබන්නේ අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ ජනතාව සඳහා පමණකි.
පාසල් පුස්තකාලයක නම් එය පාසල් සිසුන් හා පාසල් ගුරුවරුන්ට සීමා වේ. නමුත් ජාතික පුස්තකාලයක සේවය රටේ සෑම පුරවැසියකුටම ලබා ගැනීමේ අයිතිය ඇති අතර ඕනෑම රටක් තුළ පළවන සියලුම ප්‍රකාශන එක් රැස් කර තබා ගැනීමේ වගකීම පැවරෙන්නේ ද ජාතික පුස්තකාලයට ය.
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය පිහිටවනු ලැබුවේ වර්ෂ 1990 දීය. ජාතික පුස්තකාලයක කාර්යයන් පිළිබඳ විවිධ මත මෙන්ම, නිර්නායක ඉදිරිපත් වී තිබුණත් යුනෙස්කෝ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති හැඳින්වීම මේ අතර සුවිශේෂීය. ඒ අනුව ජාතික පුස්තකාලය ජාතියේ ප්‍රමුඛතම පුස්තකාලය විය යුතුය යන්න ඔවුන්ගේ පිළිගැනීමයි. එමෙන්ම එය සමස්ත රටෙහි පවත්වාගෙන යනු ලබන අනෙකුත් පුස්තකාල හා තොරතුරු සේවාවන් සඳහා නායකත්වය ලබා දිය යුතු වේ.
එසේම ජාත්‍යන්තරයේ පවතින වෙනත් පුස්තකාල හා සමඟ සම්බන්ධ වෙමින් ඵෙන්ද්‍රීය සම්බඳතාවක් ද පවත්වා ගත යුතු වේ. ජාතික පුස්තකාලය ජනතාවගේ බුද්ධිමය, සංස්කෘතිමය සහ අධ්‍යාත්මික සංවර්ධනය නඟා සිටුවීමට නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා නිරන්තරයෙන් වෙනස් වන තාක්ෂණික හා නව ක්රමෝපායන් සමඟ සම්බන්ධ වෙමින් නවතාවයන්ට අනුව ක්‍රියා කිරීම සිදු කරනු ලැබේ.
ජාතික පුස්තකාලය යනු ප්‍රධාන වශයෙන් පර්යේෂණ හා විමර්ශන පුස්තකාලයකි. විවිධ විෂය හා විවිධ අරමුණ ඔස්සේ දිවයිනේ සතර දිග් භාගයෙන් පැමිණෙන පර්යේෂකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, ස්වාධීන පර්යේෂණවලට සම්බන්ධව සිටින පුද්ගලයින් ඇතුළු සියලුම පාඨකයන්ට සේවය සැලසීමට ජාතික පුස්තකාලය බැඳී සිටී.
මේ අනුව අද වන විට ජාතික පුස්තකාලය සතුව ග්රන්ථ මිලියනයකට අධික ප්‍රමාණයක් ජාඨක පරිශීලනය වෙනුවෙන් වෙන් කර තිබේ. ජාතික පුස්තකාලය වෙත පැමිණෙන පාඨක අවශ්‍යතා සපුරාලීම සඳහා ප්රකාශනවල ස්වරූපය අනුව ග්රන්ථ විවිධ එකතු යටතේ වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යනු ලැබේ